Covid-19

කොරෝනා…. කොරෝනා…… ඉබාගාතේ නොයන් කොරෝනා……

චීනයේ වුහාන් නුවරින් COVID රෝගය සම්බන්ධ මුලික වාර්තා ප්‍රකාශ වී ඉතා කෙටි කලකදී මෙම රෝගය ලෝක වසංගත තත්වයක් දක්වා ව්‍යාප්ත විය හැකි බවට අනතුරු අගවීම විමතිය දනවන සුළු විය. එහෙත් එම අනතුරු ඇගවීම් සනාථ කරමින් පළමුව කොරියාවට හා යුරෝපයටත් දෙවනුව ඇමෙරිකාව, බ්‍රසිලය ,  ඉන්දියාව ඇතුළු මුළු ලෝකයටමත් ව්‍යාප්ත විය. රෝගය සදහා අවසාන පිළියම එන්නතක් හෝ ඖෂදයක් බව මුල සිටම විද්‍යාත්මක මතය විය. ලොව පුරා දියුණු යැයි සම්මත සියලු රටවල් මේ ඔස්සේ පරීක්ෂණ ඇරඹීය. එහෙත් ඒ දක්වා ඇති කාලය මානව ඉතිහාසයේ තිරණාත්මකම හා අසීරුතම කාල වකවානුවක් වන බවට ඉගි පල විය. රෝගයේ ස්වභාවය හෝ සංකුලතා ගැන කිසිදු අවබෝධයක් නොමැතිව රෝගයට මුහුණ දීමට සිදුවිය. එහෙත් විද්‍යාත්මක ක්‍රමවේදය මත පදනම්ව ලොවපුරා රටවල් රාශියක් තම  ශක්තියෙන් මේ සදහා සුදානම් විය. නිසි පිලියමක් ලැබෙන තෙක් රෝගයට හොදින් මුහුණදීම හැර වෙනත් විකල්පයක් නොමැතිබව මනාව පැහැදිලි වෙමින් තිබිණ. එක් එක් රටවල් අනුගමනය කළ ක්‍රියාමාර්ග වෙනස් සේ පෙනුනද ඒ සියලු ක්‍රියාමාර්ග විද්‍යාත්මක දැනුම මත පදනම්ව සැලසුම් කල ඒවා බව හොදින් පැහැදිලි වේ.

 

කෝවිඩ්19 පලමු රෝගියා ලංකාවෙන් වාර්තා වූයේ පෙබරවාරි මුල භාගයේදීය. ඉන්පසුව කුඩා පොකුරු වශයෙන් කෝවිඩ් රෝගය ලංකාව පුරා පැතිරුණි. නාවික පොකුර, කන්දකාඩු පොකුර තුලින් මෙම රෝගය කෙතරම් සීග්‍රලෙසින් පැතිරයනවද යන්න අවබෝධ කරවමින් රෝගින් දහසේ සීමාව ඉක්මවා යාමට සමත් විය. එහෙත් ඉතාම කෙටි කලකින් එම සියලු පොකුරු සාර්ථකව  කලමනාකරණය කොට,  සෑහෙන කලයක් රට අතිශය සාමාන්‍යකරණයට ලක්කිරීමට හැකිවිය. මෙම රෝග මර්ධනයේදී භාවිතා කල ප්‍රධාන උපක්‍රමය වුයේ හැකි ඉක්මනින් ආසදිතයන් හඳුනාගෙන ඔවුන්ගේ ආශ්‍රිතයන් සහ සමීපතයන්ද  හඳුනාගෙන, ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානවලට ගොනුකිරිම මඟින් රෝගය බෝවිම වැලැක්විමය. දැනට කරනු ලබන  කලමනාකරණ ක්‍රියාවලිය  reactive ක්‍රමවෙදයකි. මෙම ක්‍රමය රෝගීන් සංඛ්‍යාව අඩු මට්ටමක තිබියදී ඉතා සාර්ථක ප්‍රථිඵල පෙන්වයි. රෝගීන් සංඛ්‍යාව වැඩිවිම හා අසංවිධිත සමාජ ස්ථරය මේ ක්‍රමයේ සාර්ථකත්වයට දැඩි අභියෝගයක් වේ. මෙහිදී, කෝවිඩ් රෝගය  පැතිරි යාම  වැලැක්විම ආරම්භ වනුයේ රෝගියකු සොයාගැනිමත් සමඟ ය. රෝගියා සොයාගත් පසු ඔහු රෝහල්ගත කිරීමෙන් නතර නොවී  ඔහුගේ ආශ්‍රිතයන් සොයා යා යුතුය. ඉන්පසු ආශ්‍රිතයන්ට රෝගය වැළදීමේ අවදානම තක්සේරු කලයුතු අතර අවදානම් වැඩි ආශ්‍රිතයන් නිරෝධායනය කල යුතුය. නිරෝධායන කාලය තීරණය වනුයේ රෝගය වෙනත් කෙනෙකුට පැතිරීමේ අවධානම සහිත කාලය අනුවය. COVID රෝගය, රෝග ලක්ෂණ පහල වීමට දින කිහිපයක සිටම වෙනකෙකුට පැතිර යා හැකි නිසා මුලදී දින 28ක පමණ නිරෝධායන කාලයක් අවශ්‍ය බව තීරණය විය. රෝගය සමග හැකිතාක් දුරට සාමාන්‍යකරණය වීම අත්‍යාවශ කාරණයකි. මෙම ක්‍රමවේදය මගින් සියලු රෝගීන් හා ආශ්‍රිතයන් හදුනාගෙන සෞඛ්‍ය අංශ වල අවධානය මත සිටින බැවින්, න්‍යායාත්මකව, අනිකුත් සියලු පුදගලයන්ට සාමාන්‍ය ආකාරයෙන්ම ජීවත්විය හැකි විය යුතුය. එහෙත්, ආශ්‍රිතයන් හදුනාගැනීම හා සොයා යාම ඉතාම ව්‍යාකුල හා වෙහෙසකර කර්තව්‍යකි. අසම්මත හා අසංවිධිත සමාජ ක්‍රියායාකාරීත්වයන්, අපරිනත ප්‍රශ්ණ කිරීම් හා හඹායම්  මෙන්ම නොසැලකිලිමත් චර්යා රටාවන් හෝ රෝගය සම්බන්ධව ඇති දුර්මත මෙම ක්‍රමවේදය අසර්ථකවිමට හේතු සාධක වේ. දින විසි අටක ආයතනගත නිරෝධායනය නිසාම විශාල සමාජ ආර්ථික ගැටළු රාශියක් ඇතිවීම නොවැලැක්විය හැකිය.  එසේම අවිධිමත් හෝ නීති විරෝධී චර්යා රටාවන්  නිසා සම්මත ක්‍රියාවලිය තුලින් ගිලිහෙන ආශ්‍රිතයන් හරහා විශාල රෝගීන් පොකුරු හමුවීමේ දැඩි අවදානමක් පවතී. නාවික හමුදා, කන්දකාඩු, මිනුවන්ගොඩ හා පැලියගොඩ පොකුරු තුලින් අප අත්වින්දේ මේ අමිහිරි අත්දැකීමයි. එබැවින් මෙසේ රෝගීන් සංඛ්‍යාව වැඩි වීමත් සමඟ වඩා සාර්ථක ක්‍රමවේදයක අවශ්‍යතාවය පැන නැගී ඇත.

 

එබැවින් අප විසින් ඉදිරිපත් කරනු ලබන වඩාත් ප්‍රායෝගික  සහ විද්‍යාත්මක වු ක්‍රියාවලිය වෙත අවධානයක් යොමුකිරිම වැදගත්ය. මෙය  Proactive ක්‍රියාවලියකි.  මෙම යෝජනාවලිය මඟින් රෝගය ඇතිවන, පැතිරෙන සාධක වෙන් කොට, රෝගය පරිපාලනය කිරිමට තැත් කරනු ලබයි. එහිදි කෝවිඩි 19 කලමනාකරණය මහජනමූල ක්‍රියාවක් ලෙස පවත්වාගනු ලබන අතර සෞඛ්‍ය, සමාජ සුබසාධන, පරිපාලන, සන්නිවේදන හා ආරක්ෂක අංශ වල මනා සහයෝගය මත ක්‍රියාත්මක කෙරේ. මහජනතාව වෙත තොරතුරු ඉදිරිපත් කිරීම් විශ්වසනීය හා වගකීම් සහගත විය යුතු මෙන්ම එකම පදනමක සිට ඉදිරිපත් කල යුතුය.

 

මෙහි ප්‍රධාන හරය පහතින් දැක්වේ.

  1. සෞඛ්‍යය අධ්‍යාපනය දියුණු කිරිම – සමාජ මාධ්‍ය තුලින් සහ ප්‍රධාන ජනසංනිවේදන මාධ්‍ය මගින් ප්‍රචාරණය වන දේ නිරීක්ෂණය කලවිට රෝගය සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන බොහෝ දෙනෙකුට ඒ සම්බන්ධව හොද අවබෝධයක් නොමැති බව වැටහේ. මේ නිසාම, විද්‍යාත්මක සාධක මත පදනම්ව ඉදිරිපත්වන රෝග නිවාරණ නිර්දේශ හා පදනමක් නොමැතිව ඉදිරිපත්වන මතවාද වෙන්ව හදුනාගැනීම ඉතා අසීරු වී ඇත. සමාජ දුරස්ථභාවය,දෑත් සේදීම, මුව ආවරණ පැලදීම වැනි පදනම් සහිත නිර්දේශයන්ට වඩා ගුප්ත ශාස්ත්‍ර, අත් බෙහෙත්, දේව බලපෑම් වැනි මිත්‍යා මත ගැන එල්බ සිටිම් ආදිය ඉතා බහුලය. එබැවින් රට පුරා පැතිරිනු විද්‍යාව මත පදනම් වු නවමු සෞඛ්‍ය අධ්‍යාපන ක්‍රමයක් ඇතිකිරිමට මෙම යෝජනා ඇසුරින් බලාපොරත්තු වෙයි.
    1. රෝගය ගැන සරල හැදින්වීමක්
    2. මෙවන් රෝග ඉතිහාසයේදී විද්‍යාත්මක ක්‍රමය මගින්පරාජය කල ආකාරය
    3. නිවැරදි අයුරින් විද්‍යාත්මකව තහවුරු කරනලද එන්නතක් හෝ ඖෂධයක් ලැබෙන තෙක් කොතෙක් අසීරු වුවත් හැකි පමණින් සාමාන්‍ය ජීවිතය පවත්වගත යුතු බව.
    4. නිවැරදි ආරක්ෂණ ක්‍රමතුලින් නිසැකවම සම්ප්‍රේෂණය පාලනය කල හැකි බව.
  2. දැනට දක්නට ලැබෙන අයුරින් රෝගයෙහි සංකුලතා වලට වඩාත් ලක්විය හැකි කාණ්ඩ හඳුනාගැනිම සහ ඔවුන්ව   ප්‍රධාන දහරාවෙන් වෙන්කරවිම. මෙමඟින්  මරණ සහ සංකුලතා අඩුකිරිමට මඟ පෑදේ. වයස්ගත පුද්ගලයින්, දියවැඩියා ‍රෝගීන්, අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන් සංකුලතාවන්ට වැඩි වශයෙන් බඳුන් විය හැක. මෙවන් අයගේ අවශ්‍යතා, රෝග සම්ප්‍රේශණය වැළැක්වීමේ ක්‍රමවේදමත පිහිටා ඉටු කල යුතුව ඇත.
  3. රෝගය සෑදි සුව වු අයගෙන් සමන්විත බලකායක් සකස් කිරිම. මෙහිදි සුවවුවන් රෝගින්ට උවටැන් කිරිම, රෝගින් හැසිරවිම, රෝගින්ට ආහාර ගෙනයාම වැනි රාජකාරි ඉටු කිරිම සඳහා යොමුකිරීමත්, මෙන්ම වඩා අනතුරු සහගත කාර්යයන් කිරිමට මෙම අය යොදාගැනීමක් කල හැක. විශේෂයෙන් දැනට රෝගය වැළඳි සුවවි ඇති සෞඛ්‍යය කාර්ය මණඩලවල අය කෝවිඩ් රෝග සත්කාරයන්ට පෙරමුණ ගැනිමට සැලැස්විම හා සුව වූ හමුදා නිලධාරින්ද ක්‍රමානුකුලව මේ සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීම.
  4. රෝග ආවේක්ෂණකාර්යයන් වඩාත් විද්‍යාත්මක පදනමක් සහිත ක්‍රියාවලියක් මත පදනම්ව ඉටුකිරිම. මෙහදි වඩාත් ක්‍රමානුකූල උණ රෝග ආවේකෂණය පදනම් කරගත් ක්‍රමයක් ඇතිකිරිම. මහජන සහභාගිත්වයක් සහ පුද්ගලික රෝග පරික්ෂාවේ යෙදෙන වෛද්‍යවරු මාර්ගයෙන් උණ රෝගින් හමුවන ස්ථාන ජි.පි.එස් ආධාරයෙන් සිතියම්ගත කොට උණ ඇති අය සිටින hotspot හඳුනාගෙන එම ප්‍රදේශ වලට අවධානය යොමුකිරිම. එසේම සමහර සමාජ කාණ්ඩ තුල රෝගය ඊට ඉක්මනින් පැතිර ය හැක. ඒ සදහා සුවිශේෂී ක්‍රමවේද අනුගමනය කල යුතුව ඇත. ජනතාව බහුලව සිටින ප්‍රදේශ , ආර්ථික කටයුතුලට වැඩියෙන් දායකවන කර්මාන්ත පුර වල, අපජලය ඇසුරෙන් කරන විද්‍යාත්මක surveillance ක්‍රමවෙදයක් සිංගප්පුරුව වැනි රටවල සාර්ථකව සිදු කරගෙන යන අතර අප රටෙහිද සාර්ථකව සිදුකල හැකිබව විද්‍යාත්මකව තහවුරු කර, ක්‍රියාත්මක කිරීම.
  5. රෝහල්වල ඇතිවිය හැකි තදබදය වැලැක්විම පිණිසරෝගීන් කාණ්ඩ කිරීම ඉතා වැදගත්වේ. අවදානම් සහගත රෝගීන් හා සංකුලතා ඇති රෝගීන් සදහා රෝහල්වල ඇති සීමිත සම්පත් වැඩි දයුණු කරන අතරම රෝග ලක්ෂණ රහිත හෝ සංකුලතා නැති රෝගීන් නිවසේදී රැකබලා ගත හැකි ක්‍රමවේදයක් සකස් කල යුතුව ඇත.
  6. රැකියා කරනු ලබන සේවක  කණ්ඩායම් වලට ඉතා පහසුවෙන් රෝගය බෝවිය හැකි බව සොයාගෙන තිබේ.ඒ ඔවුන් ඉතා වැඩිකලක්,  එක්ව එක ස්ථානයක  කාලය ගත කරන බැවිනි. එමෙන්ම වායු සමිකරන, පොදු කෑම ගන්නා ස්ථාන   සහ වැසිකිලි ආදිය එක්ව භාවිතාව කිරිම නිසා  ඔවුන් අතර  රෝගය පැතිරියාමට ඇති හැකියාව වැඩිය.එවැනි පසුබිමකදි   දුරස්ථභාවය  තබාගැනිම මඟින් පමණක්  රෝගය පැතිර යාම වලක්වාගත නොහැක. එනිසා, වැඩකරන ජනතාව  තම සියලු මහජන කාර්යයන් වඩා ක්‍රමානුකුලව ඉටු  කිරිමට සහ ආරක්ෂාව තහවුරු කරගැනිමට  සේවාමුර ක්‍රමයක් අනුව වැඩ පවත්වා ගැනිමට අනුගත වන සේ රාජකාරි කිරිම වැදගත් වේ.එමෙන්ම  රාජකාරි කරන අය තම රාජකාරි වල අත්‍යාවශ්‍යතාවය අනුව හැකියාවක ඇති කොටස් පහත ආකාරයට තුනකට බෙදා වැඩකිරීමට ක්‍රියා කිරිම.
    1. තම රාජකාරි ඉටුකිරිම සඳහා රාජකාරි ස්ථානයට පැමිණීම අත්‍යාවශ්‍ය න්ලධාරින්
    2. තම රාජකාරි දුරථතව සිට ඉටුකිරිමට හැකි නිලධාරින්
    3. තම රාජකාරි වලින් කොටසක් දුරස්ථව සිට කලහැකි අය
  7. ඉදිරියේදි රෝගය වඩාත් පුළුල්ව පැතිරියා හැකි ප්‍රදේශ hotspot ලෙස හඳුනා ගෙන ඒ ප්‍රදේශ වෙත  රෝග පැතිරිම වැලැක්විමට කටයුතු කිරිම, . මේ සඳහා රෝගින් සිතියම් කිරිම කල හැකිය. එක් එක් කලාපය අවදානම අනුව වර්ගකර එම කලප තුලදී අනුගමනය කල යුතු චර්යා රටාවන් පැහැදිලිව ඉදිරිපත් කලයුතුය. මෙම ප්‍රදේශවල තත්වය නිතිපතා සමාලෝචනය කිරීම තුලින් අවධානමේ ප්‍රමානය මත අදාල චර්‍යා රටවන්ට නිරායාසයෙන් අනුගත වීමට හුරුකල යුතුව ඇත.
  8. රෝගී සත්කාර සේවා බිද නොවැටී පවත්වාගෙනයාම අත්‍යාවශ්‍ය වූත්, නොවැලැක්විය හැකි වූත්, ප්‍රමුඛතම වූත් කාරණයකි. මෙහිදී සෞඛ්‍ය ආයතන තුල ඇති සේවාවන් වර්ග කිරීම අත්‍යාවශ්‍ය වේ.
    1. අත්‍යාවශ්‍ය හා හදිසි ප්‍රතිකාර කිසි ලෙසකින්වත් නවතාලිය නොහැකි අතර හැකි තරම් පහසුකම් හා කාර්යමණ්ඩල වැඩි කල යුතුව ඇත. රෝගීන්ගේ ජිවිතවලට අනතුරුදයක විය හැකි අවස්ථාවලදී සියලු ප්‍රතිකාර පවතින ආකාරයෙන්ම අඛණ්ඩව සිදී කල යුතුව ඇත. කල් දැමියහැකි හෝ ජිවිතවලට අවධානමක් නොමැත ප්‍රතිකාර සේවා යම් පමණකින් කළමනාකරණය කරගත යුතුවේ. මෙවන් සේවා සදහා වෙන්ව ඇති කාර්යමණ්ඩල හා පහසුකම් අත්‍යාවශ්‍ය හා හදිසි ප්‍රතිකාර සදහා යොමුකළ හැක.
    2. ප්‍රතිකාර සේවාවන් පවත්වාගේන යාමේදී කාර්යමණ්ඩල සාමාජිකයන් නිරන්තරයෙන් රෝගයට ගොදුරු විය හැක. මෙහිදී ආරක්ෂණ උපකරණ නිසි පරිදි ලබාදීමත්, සේවා මුර ලබාදීමත්, සේවා ස්ථානයට පමණක් සංචරණය සිමා කිරීමත්, ආයතනය තුල සංචරණයන් සීමාකිරීමත්, රාජකාරි එක ස්ථානයකට පමණක් සිමා කිරීමත් සිදුකල හැක. රෝග ලක්ෂණ ඇති විටෙක සේවයට වාර්තා කිරීම වැළැක්විය යුතුව ඇත.
    3. රෝගයෙන් වැලකිමට අවශ්‍ය කරන ඖෂධ හා උපකරණ නිරන්තරයෙන්ම පැවතිය යුතුය. මේ සදහා ආරක්ෂිත උපකරණ දේශියව නිෂ්පාදනයකිරිමට කටයුතු කිරිම ගැන අවධානය යොමුකළ යුතුව ඇත.
    4. රෝහල් තුලට ඇතුළුවන සියලු දෙනා එක ස්ථානයකි හෝ නියමිත ස්ථාන වලින් පමණක්ම ඇතුල්විය යුතු අතර උණ හා රෝග ලක්ෂණ නැත්නම් පමණක් ඇතුල්වීමට අවසර ලබාදිය යුතුව ඇත. මෙම ක්‍රියා මාර්ගය සියලුම කාර්‍ය සාමාජිකයන් සදහා ද වලංගුවිය යුතුය.

 

මේ අවථාතාව වනවිට  අප රටේ කෝවිඩි රෝගින් ගනණ 38,000කට ආසන්නය. මරණ ගනණද 200කට ආසන්නනය. මේ නිසාම දැනට ක්‍රියාත්මක කරණු ලබන ක්‍රියා මාර්ග යාවත් කාලින නොකළහොත් රෝගීන් ගනණ ඉතා කෙටි කලකින් වැඩි වියහැක. එබැවින් සති කිහිපයකින් අප රට ඇමරිකාව, ඉන්දියාව යන මඟම ගමන් කරනු ඇත. එනිසා කඩිනමින්ම මෙම ගමන ක්‍රමානුකුලව වෙනස් කිරිමකට  ලක් කල යුතුය.

 

 

 

 409 total views,  2 views today

✍ Author

Leave a Comment

Your email address will not be published. Required fields are marked *