දූෂණයට නොව විසඳුමේ කොටසක් වීමට උත්සාහ දරන්න……

 

සෞඛ්‍යමත් ජීවිතයකට පිරිසුදු ජලය අත්‍යවශ්‍ය බව අප කවුරුත් දන්නා කරුණකි. පිරිසිදු පානීය ජලය ප්‍රමාණවත් ලෙස ලබා ගැනීම සියලුම මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වන නමුත් ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට මෙම අයිතිය අහිමි වී ඇත.
ලොව පුරා ඇති මිරිදිය සම්පත දුර්වල කළමනාකරණයෙන් පමණක් නොව පාරිසරික හායනය මගින් ද තර්ජනයට ලක් වී ඇත.මිරිදිය දූෂණය මූලිකවම පිරිපහදු නොකළ අපද්‍රව්‍ය බැහැර කිරීම, කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීම හා කෘෂිකාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීම මගින් සිදුවේ. එමෙන්ම කාර්මික වර්ධනය, නාගරීකරණය හා කෘතීම කාබනික ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම මිරිදිය ජලාශ වලට අහිතකර බලපෑම් ඇති කරයි.
සංවර්ධිත රටවල් ප්‍රධාන වශයෙන් භූගත ජල මූලාශ්‍ර වලට රසායනික ද්‍රව්‍ය මුදා හැරීමේ ගැටළුවලින් පීඩා විඳින අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් ජල මූලාශ්‍රවලට කෘෂිකාර්මික අපද්‍රව්‍ය ගලායාමේ ගැටලුවලට මුහුණ දෙන බව සොයාගෙන ඇත.
ජලයේ ගුණාත්මකභාවය මානව සුභසාධනය සඳහා ඍජුවම සම්බන්ධ වන බැවින් එය මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. ජලය අපවිත්‍ර වීම හේතුවෙන් ජලය මගින් බෝවන රෝග ඇති වූ අතර ඒවා මගින් යම් නගරවල මුළු ජනගහනයම විනාශ කළ බව ඉතිහාසගත සාක්ෂියකි. වර්තමානයේදී සමකාසන්නයේ පිහිටා තිබෙන සංවර්ධනය වෙමින් පවතින රටවල ජලයෙන් බෝවන රෝග හා වසංගත උවදුරු තවමත් විශාල ලෙස පවතී. මෙවැනි සෑම අවස්ථාවකම ඊට හේතුකාරක වන්නේ දූෂිත ජලයයි.
දැනට ඇස්තමේන්තුගත දත්තවලින් පෙනී යන්නේ බිලියන 1.5 කට ආසන්න ජනතාවකට පිරිසිදු පානීය ජලය නොලැබෙන බවයි. මෙම දූෂිත ජලය හා අපිරිසුදු සනීපාරක්ෂක තත්වයන් නිසා ඇතිවන රෝග වලින් සෑම වසරකම මූලික වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මිලියන 2.2 ක ට වැඩි ජනතාවක් මිය යති.
පෘථිවි ගෝලයෙන් 70% වඩා වැඩි ප්‍රමාණයක් සාගර වලින් වැසී ඇති හෙයින් මිනිසුන් බොහෝ කලක සිට සාගරය අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා තිබෙන කසළ බිමක් ලෙස යොදාගෙන තිබේ. එම නිසා මේ වන විට බොහෝ වෙරළබඩ ජලය ද දූෂණය වී ඇත.
“ජල දූෂණය ලෙස අර්ථ දැක්වෙනුයේ එහි සාමාන්‍ය ක්‍රියාකාරී තත්ව වලට හා ගුණ වලට බලපාන පිරිසිදු තත්ත්වයෙන් අපගමනය වන තත්වයකි”
පාරිසරික කොටස් අතර පවතින ස්වාභාවික ගතික සමතුලිතතාවයේ ඕනෑම වෙනසක් දූෂණ තත්ව ඇති කිරීමට දායක වෙයි.
ජල දූෂණය හඳුනාගත හැකි මූලික ලක්ෂණ
01. පානීය ජලයේ අසාමාන්‍ය රසයක් ඇති වීම
02. විල්, ගංගා හා සාගර වෙරළ තීරයේ අප්‍රසන්න ගන්ධයක් හටගැනීම
03.  ජල මූලාශ්‍රවල ජලජ වල් පැළෑටි (උදාහරණ :-ජපන් ජබර) වල පාලනයකින් තොර වර්ධනය සිදුවීම
04. මිරිදිය, ගංගා ජලය, මුහුදු ජලය තුල වෙසෙන මාළු සංඛ්‍යාව අඩු වීම
05. ජලය මතුපිට තෙල් වැනි ද්‍රව්‍ය පා වෙමින් තිබීම.
මෙලෙස ජලය දූෂණය වීම ජලයේ සාමාන්‍ය භාවිතයට බාධා ඇති කරයි.
එනම්,
01. පොදු ජල සැපයුම
02. විනෝදය හා සෞන්දර්යය
03. මත්ස්‍යයන් අනෙකුත් ජීවීන් හා වනසතුන්ගේ වාසය උදෙසා
04. කෘෂිකාර්මික කටයුතු සඳහා
05. අනෙකුත් කර්මාන්ත සඳහා
බාධා ඇති කෙරේ.
දූෂිත ජලය හේතුවෙන් මිනිසුන්ට ඇති වී තිබෙන සෘජු බලපෑම්
01. අපිරිසිදු ජල පරිභෝජනය නිසා මිනිස් සිරුරට හානි වේ
02. අපිරිසුදු ජලයෙන් විවිධ රෝග පැතිරේ.
(a) කොලරාව කොලරාව ටයිෆොයිඩ් උණ පාචනය ආදී බැක්ටීරියා රෝග.
(b) හෙපටයිටිස්, සෙංගමාලය ආදී වෛරස් රෝග
(e) පටි පණු, මෝදු පණු වැනි පණු රෝග
(f) අපිරිසුදු ජලය සමග සම්බන්ධ වීම නිසා සමේ රෝග, අක්ෂි ආසාදන වැනි ද්විතීක රෝග ඇතිවේ.
(g) ජලයේ රසායනික ෆ්ලෝරයිඩ් අතිරික්ත ලෙස ඇතිවිට එය අස්ථි විකෘතිතා, දත්වල පැල්ලම් ඇතිවීම (දන්ත ෆ්ලෝරෝසියාව) වැනි රෝග ඇති වේ.
(h)රසදිය, ආසනික්, ඊයම්, කැඩ්මියම් වැනි ඇතැම් ලෝහ අයන මගින් ජලය විෂ සහිත විය හැකි බැවින් පානයට නුසුදුසු වේ.
දූෂිත ජලය මගින් ජලජ සතුන් කෙරෙහි ඇති වී තිබෙන බලපෑම
(a) අධික ජල දූෂණය මත්ස්‍යයන්ට හා ජලජ ජීවීන්ට හානි කරමින්  මත්ස්‍යය ජනගහනය ශීඝ්‍ර ලෙස අඩු කරයි.
(b) අපිරිසුදු ජලයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම නිසා මත්ස්‍යයන් ඇතුළු ජලජ සතුන්ට එය මාරාන්තික වේ.
(c) සාගර තෙල් දූෂණය මුහුදු ජල ජීවීන්ට හානි කර වේ.
(d) තාප දූෂණය මගින් ජලජ ජලය ජීවිත රැසක් අහිමි වෙයි.
ජල දූෂණය අනෙකුත් සතුන් කෙරෙහි ඇති කරන බලපෑම
(a) එළදෙනුන්, මී හරකුන්, බැටළුවන්,  එළුවන් ආදී සතුන් අපවිත්‍ර ජලය පානය කිරීම නිසා විවිධ බඩවැල් රෝගවලට ගොදුරු වෙයි.
(b) ෆ්ලෝරයිඩ් වැඩිපුර අන්තර්ගත ජලය පානය නිසා සුරතල් සතුන් මෙන්ම වන සතුන්ගේ ද අස්ථි හා දත් දුර්වල වෙයි.
ජල දූෂණය වෘක්ෂලතා කෙරෙහි බලපාන ආකාරය
(a)සමහර ශාක විශේෂ ස්ථීරවම අතුරුදහන් වීම සිදුවිය හැක.
(b) ගෘහස්ථ අපද්‍රව්‍ය හා සේදුම්කාරක මිශ්‍ර වීම නිසා ජලය ක්ශාරීය බවට පත් වන හෙයින් බොහෝ ජලජ ශාක මිය යයි.
මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ ජල දූෂණය මගින් පෘථිවි වාසී ජීවීන්ට සිදුවන හානිය මිල කළ නොහැකි බවයි. එම නිසා මෙම ජල සම්පත තවදුරටත් දූෂණය වීමට දායක නොවී එය රැක ගැනීමට කටයුතු කිරීම ඉතා කාලෝචිත වේ.එසේ නැතහොත් එහි සිතාගත නොහැකි භයානක ඵලවිපාක අත්විඳින්නට සිදු වන්නේද අපටමය.

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top