PCR_Test_featured

PCR ! PCR !! …………හැම එකටම PCR ද ?

විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල,
ක්ෂුද්‍ර ජිවය සහ ආසාදන පාලනය පිලිබඳ විශේෂඥ වෛද්‍ය.

පැතිර යමින් පවතින් COVID-19 ලෝක වසංගත තත්වය යටතේ යම් රටක් තමන් සතු සම්පත් නිසියාකාරව කළ මනාකරණය කර ගනිමින් මුහුණ දීම ඉතා වැදගත් වේ. මෙහිදී රෝගය පැතිර යාමේ ස්වභාවය අනුව පාලනය කිරීමේ ක්‍රමවේද යාවත්කාලීන කිරීමට සිදු වනු ඇත. මේ සඳහා සමාජයේ රෝග අවදානම තක්සේරු කිරීමත්, අවදානම් සහිත කණ්ඩායම්වල රෝගීන් හඳුනා ගැනීමත්, සැක සහිත රෝගීන්ගේ රෝගය තහවුරු කිරීම සඳහාත් වෛරස් සිරුරෙන් සම්පූර්ණයෙන් ම ඉවත් වූ බව තහවුරු කර ගැනීමට සිදු කරන පරීක්ෂණත් විධිමත්ව යොදා ගත යුතු වේ.

දැනට රට තුළ කෝවිඩ්-19 (COVID 19) රෝග තත්ත්වය බරපතල ආකාරයෙන් පැතිරයන වටපිටාවක් තුළ නැවත වරක් පී.සී.ආර් (Polymerase Chain Reaction / PCR) පරික්ෂා කිරිම සහ ඒ සඳහා අපගේ ධාරිතාව මඳ යයි කතිතාවතක් හටගෙන තිබේ. විවිධ වෘත්තීය සමිතීන් ද, ප්‍රමාණාත්මක සහ අප්‍රමාණාත්මක වියතුන් ද මහජනතාව ද, රජය ද මෙම අවස්ථාවේදී ලංකාව තුළ පවතින පී.සි.ආර් පහසුකම වැඩි දියුණු නො කිරිම සම්බන්ධව එකිනෙකාට චෝදනා කිරිමක කසුකුසුවක් හෝ මැසිවිලි නැඟිමක් පසුබිමෙන් සිහින්ව ඇසෙමින් පවතී.

සත්‍යවශයෙන් ම අපට කොපමණ පී.සී.ආර් පරික්ෂණ ප්‍රමාණයක ධාරිතාවක් අවැසි ද? තව කොපමණ ප්‍රමාණයක් දක්වා එම පහසුකම වර්ධනය කළ යුතු ද?
එය නතර විය යුත්තේ කොපමණ ධාරිතාවකට ළගා වීමෙන් පසුද?

දැනට අප රටේ පුද්ගලික අංශය ද ඇතුලුව, දිනකට පී.සි.ආර් පරික්ෂා 12000ක් පමණ කිරිමට පහසුකම් තිබෙනවායැයි කියවේ. මෙම පහසුකම තව කෙතෙක් වැඩි කළ යුතුද?
නැතහොත් ජනගහණයේ සැවොම එම පරික්ෂාවට භාජනය කිරිමට හැකිවන තාක් මෙය වැඩි කළ යුතු වේද?

ඔබ සිතන්නේ කුමක්ද?
ඒ සම්බන්ධව මාගේ කරුණු දැක්වීමට පෙර මෙම පී.සි.ආර් පරික්ෂාවේ වියදම ගැන ද යමක් ප්‍රකාශ නො කළහොත් සම්පුර්ණ චිත්‍රය ම ඔඛට වටහා ගැනිමට නො හැකිවනු ඇතැයි සිතේ.

පී.සි.ආර් පරීක්ෂාවක් සඳහා මා දන්නා පරිදි, රසායන ද්‍රව්‍ය සඳහා පමණක් අවම වශයෙන් රුපියල් 4500.00 සිට 6000.00 අතර මුදලක් රජය දරණ අතර පුද්ගලික අංශය විසින් රුපියල් 9000.00 එම පී.සි.ආර් පරික්ෂාවක් සඳහා අය කරනු ලබයි. මෙයට අමතරව, එම පී.සි.ආර් උපකරණ ද නොමිලේ නො ලැබෙයි. ඒ සඳහා ද අධික මුදලක් දැරිය යුතුය. ඒ අනුව, දිනකට පී.සි.ආර් පරීක්ෂා 10000ක් කළ යුතු යැයි සිතුවොත්, දිනකට රුපියල් මිලියන 45ක් අවම වශයෙන් ද, මිලියන 60ක් උපරිමව ද වැය කළ යුතුය. මෙම ප්‍රමාණයට වඩා පරික්ෂා ප්‍රමාණය වැඩි නම්, වියදම තවත් වැඩි වෙයි. මෙයට කාර්ය මණ්ඩලයට කරන ගෙවිම්, විදුලි බලය හෝ අදාල අනෙකුත් විය හියදම් අඩංගු කොට නොමැත.

තවද, මෙම සියලු පරික්ෂා සඳහා අවැසි රසායන ද්‍රව්‍ය ගෙන්වනු ලබන්නේ විදේශයන්ගෙන් බව අවබෝධ කරගත යුතුය. ඒ සඳහා විශාල වශයෙන් විදේශ විනිමය ද වැයවේ. යම් හෙයකින් ගුවන් ගමන් සඳහා බාධාවක් ඇතිවුවහොත්, මෙම සියලු පරික්ෂා කිරිමේ හැකියාව බිඳ වැටෙනු ඇත. ඒ සමඟම පී.සි.ආර් පරික්ෂා මත රඳා පවතින කෝවිඩ්-19 කළමනාකරණ වැඩසටහනට කුමක් විය හැකිද ?

පරික්ෂා කිරිම් පමණක් දිගින් දිගට ම වැඩි කිරිම මඟින් පමණක් වසංගත තත්වය පාලනය කළ හැකිද?
මෙම පරික්ෂා ධාරිතාව වැඩි කිරීමේ ද සීමාවක් පවතියි.
හෙටදින පී.සි.ආර් පරික්ෂා හැකියාව 20000 කළහොත්, ඒ සමඟ පරික්ෂා සඳහා ඉල්ලීම් 40000ක් ලැබෙනු ඇත. මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින සැවොම දන්නා කරුණකි. සැපයුම මත ඉල්ලුම රඳා පවතී.

මෙම ත්ත්වය සම්බන්ධ ඉතා ප්‍රයෝගික උදාහරණයක් ඇමරිකා එක්සත් ජනපදයෙන් ගෙනහැර දැක්විය හැකිය. වසංගත තත්වයේ මුල අවස්ථාවේ දී ඇමරිකාවේ පී.සි.ආර් පරික්ෂා ලක්ෂ 5ක අවශ්‍යතාවයක් තිබුණත් ඇමරිකාවට කිරිමේ හැකියාව තිබුණේ පරික්ෂා ලක්ෂ දෙකකි. පසුව, සැමගේ ඉල්ලීම මත ධාරිතාවය ලක්ෂ නවය දක්වා වැඩි කරනු ලැබීය.
එවිට, සිදුවුණේ කුමක්ද?
පරීක්ෂා සඳහා ඉල්ලීම් ලක්ෂ විස්සක් ලැබී, කලින් තිබු backlog එක ම වෙනත් ආකාරයකින් මතුවීමයි.
අපටත් මෙම තත්වය එසේම වනු ඇත. එය සක්සුදක් සේ විශ්වාසය. කවර රටක වුව ද, මෙසේ පී.සි.ආර් පරික්ෂා සඳහා backlog ඇතීවිම ඉතා අනර්ථ කාරීය.

ඇමරිකාව තුල මෙම තත්වය නිසා කෝවිඩ්-19 පරිපාලනය ඇනහිට, වසංගත තත්වය පාලනයෙන් ගිලිහාමට පවා මෙම ප්‍රතිඵල පමාවීම හේතුපාදක විය. දැනට ඇමරිකාව තුල මෙම backlog තත්වය දින 5කි. ලංකාවේ ද එවන් තත්වයක් ඇතිවෙමින් පවතින බැව් පුවත්පත්වල සහ සමාජ ජාලවල වාර්තා පළවෙයි. සමහරවිට, මෙය කළමනාකරණය නො කළහොත්, අපගේ ද මෙම backlog මේ හා සමානව ම වැඩිවිය හැකිය. එය අපගේ කෝවිඩි-19 පරිපාලනයට මරු පහරක් වනු ඇත.

ඒ නිසා අප විසින් කළ යුත්තේ තව දුරටත් “වැඩි කරව්: , වැඩි කරව්” යනුවෙන් කෑමොර දීම සහ ප්‍රයෝගික නොවන අයුරෙන් පී.සි.ආර් පරික්ෂා වැඩිකිරිම නොව ඒවා කළමනාකරණය කොට අපගේ අවශ්‍යතාවය ඉටුකර ගැනිමයි.
එය කෙසේ කරගත හැකිද? එය අප ඉදිරියේ ඇති ප්‍රධාන උභතෝකෝටිකයකි.
අපි කිසිදු අවස්තාවක පී.සි.ආර් පරික්ෂාවේ අවශ්‍යතාවය ලඝු කොට සැලකීමක් නො කරන බව ද තරයේ ප්‍රකාශ කරනු බව කීමට කැමැත්තෙමු.
මෙම අවස්තාවේදි අප විසින් මෙම භාරදුර කටයුත්ත කෙසේ කළ යුතුද ?
මෙම පරික්ෂා ධාරිතාව වැඩිකිරිමේ සීමාවක් පවතියි. එය දිගින් දිගට ම වැඩි කිරිම මගින් පමණක් වසංගත තත්වය පාලනය කල නො හැක. එහි නිමක් නැත.
මෙම කටයුත්ත ගැන සැලකීමේදි අප විසින්, අප ළඟ පවතින සියලුම පරික්ෂණ ගැනත්, ඒවා සබුද්ධිකව භාවිතා කරන්නේ ද, කුමන අවස්තාවන්හිදි ඒවා භාවිතා කළ හැකිද යන්නත්, එක් එක් පරික්ෂාවන්ගේ සීමා මොනවාද යන්නත් හොඳින් තේරුම් ගත යුතුය. එවැනි විකල්ප පරික්ෂා තිබේ නම්, එමඟින් අපහට පී.සි.ආර් පරික්ෂාව මත බර පැටවීම වලක්වාගත හැකිය.

පී.සි.ආර් පරික්ෂාව කොතරම් හොඳ පරික්ෂාවක් වුවද ප්‍රතිපල නියම වේලාවට නොලැබේ නම් ඉන් පලක් නැති බව ඇමරිකානු උදාහරණයෙන් තේරුම් ගත යුතුය…

අප සතුව තිබෙන කෝවිඩ්-19 සඳහා කරනු ලබන පරික්ෂාවන් පහත සඳහන් පරිදි ප්‍රධාන කාණ්ඩ හතරට බෙදා වෙන්කල හැක.

1. කෝවිඩ්19 රෝගය සඳහා පාරිසරික ප්‍රබවයක් සොයාගැනිම සඳහා කරණු ලබන පරීක්ෂාවන් (Tests performing for screening purposes to check for presence of virus in the environment samples)

2. රෝග නීර්ණ කටයුතු සඳහා භාවිතාවන පරීක්ෂා
(Tests performing for diagnostic purposes – to detect the COVID19 cases)

3.කෝවිඩ්19 රෝගය නිසැකවම වැළඳුණ රෝගියකුගේ ප්‍රතිකාර සඳහා සහ සංකුලතා වැලැක්වීම සහ එම රෝගින් රෝහලින් ප්‍රතිකාර නිම කොට නිවසට යැවීමේ සුදුසුකම තීරණය කිරීම සඳහා කරණු ලබන පරීක්ෂා (Tests performing ON patients who were positive for SARS-COV 2 ( for the management purposes of patients diagnosed with COVID19) for prevention of complications and discharge purposes)

4.රෝග වැලක්විම , රෝග පරිපාලනය, ප්‍රජා පැතිරිම වැලැක්විම සඳහා කරනු ලබන පරික්ෂාවන් (For screening and prevention of spread of COVID19- to be used in public health purpose)
අපි දැන් මෙම පරික්ෂණ කාණ්ඩ ගැන වෙන් වෙන්ව සලකා බලමු.

1. කෝවිඩ්-19 රෝගය සඳහා පාරිසරික ප්‍රබවයක් සොයාගැනිම සඳහා සිදු කරනු ලබන පරීක්ෂාවන් (Tests performing for screening purposes to check for presence of virus in the environment samples)

මෙම පරීක්ෂාවන් සිදුකරනුයේ රෝග වැලැක්වීම සහ රෝගය ඇතිවීම ගැන පූර්ව අනතුරු හැඟවීම සඳහා කරනු ලබන පරීක්ෂාවන්ය. වවුලන් තුල ක්‍රියාකාරී කොරොනා වෛරස ඇත්දැයි සොයා බැලිම සහ අපජලය තුල කෝවිඩ්-19 ඇතිකරන වෛරසය අදාල අණුක ව්‍යූහ (RNA) තිබේදැයි සොයා බැලිම මෙහිදි සිදු කෙරේ. මෙම පරික්ෂා සඳහා පී.සි.ආර් මුලික කොටගත් මූලධර්ම භාවිතා කෙරේ. මෙම ආකාර දෙක ම ලංකාව තුළ සිදු නො කරයි.

දෙවන පරික්ෂා කාණ්ඩය සාර්තකව සිදුකල හැකිනම්, අපහට වසංගත පැතිරියාමට හැකියාව ඇති අවදානම් පරිසර පද්ධති, ජනාවාස, කර්මාන්තශාලා ආදිය දින 5 කට හෝ 7 කට පමණ කලින් හඳුනාගත හැක.
මේ ආකාරය මඟින් පරික්ෂා මඟින් මහජන සෞඛ්‍ය සඳහා කරන අහඹු නියැදි පරික්ෂාවන් ගණන අඩුකොට, සාර්ථකව පී.සි.ආර් පරික්ෂා, වෙන යම් ප්‍රයෝජනවත් කටයුත්තක් සඳහා යොදාගත හැකිය.

මෙවැනි විද්‍යාත්මක කරුණු මත පදනම් වූ ක්‍රියාවලි මඟින් පී.සි.ආර් සඳහා ඇතිවන ආතතිය සහ ඉල්ලුම සැලකිය යුතු අයුරින් අඩු කොට, එය වඩා ප්‍රතිඵලදායක ක්‍රියාවක් සඳහා කළමනාකරණය කර ගත හැකිය.

2. රෝග නිර්ණය සඳහා භාවිතා කරන පරික්ෂා (Tests performing for diagnostic purposes – to detect the COVID-19 cases)

රෝගය නිශ්චිතව ම වැළඳි තිබේදැයි සොයා බැලිම සඳහා කරන ප්‍රධානත ම පරික්ෂාව සම්ප්‍රදායික පී.සි.ආර් පරික්ෂාවයි. මෙවැනි පී.සි.ආර් පරික්ෂා කළ හැකි පරීක්ෂණාගාර 10ක් පමණ දිවයින පුරා ඇත. මෙම අරමුණ සඳහා සඳහා විකල්ප තිබෙනුයේ ඉතා කුඩා ප්‍රමාණයකි. සම්ප්‍රදායක පී.සි.ආර් සඳහා ප්‍රතිඵල ලැබිමට දිනයක් හෝ කිහිපයක් යා හැක. (සාමාන්‍යයෙන්එය ගතවන කාලය පැය හයක් හෝ අටකි. එහෙත් පී.සි.ආර් පරික්ෂාවන් මත ඇතිවන ඉල්ලුම සැපිරිමට නොහැකි නිසා ප්‍රතිඵල දින ගනණක් පමාවන අයුරු දැකිය හැක)
මෙම ප්‍රතිඵල පමාවීම නිසා, දරුණු ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන් ආසාදිතයින් සොයාගැනිට පමාවීම නිසා රෝග පැතිරීම වැලැක්වීමට බාධා මතුවිය හැක. එවිට, එවැනි අවස්ථා සඳහා ප්‍රතිඵල කඩිනමින් ලබා ගැනීම සඳහා තවත් පී.සි.ආර් පරික්ෂා ප්‍රභේදයක් ඇත. එය Gene expert යන්ත්‍රය මඟින් කෙරෙන පරික්ෂාවන්ය..

මෙම යන්ත්‍රය මඟින් හදිසි අවස්තාවකදි සිදු කිරීමප්‍රතිඵල පැයකින් ලබාගත හැක. එහෙත් මෙම උපකරණය මඟින් එකවර සිදු කළ හැකි වනුයේ පරික්ෂණ හතරකි. එහෙත් ප්‍රතිඵල කඩිනමින් ලබාගැනිමට හැකිවීම වාසියකි.
මෙවැනි යන්ත්‍රය 30ක්, 40ක් දැනටමත් රට පුරා ක්ෂය රෝග පරික්ෂාවන් සඳහා මිලදි ගෙන, රෝහල් තුළ සහ ශ්වසන රෝග ආයතන තුළ ක්‍රියාකාරී තත්වයෙන් ඇත. එම උපකරණ LOAD and FORGET ක්‍රමයේ උපකරණ නිසා විදුලි පහසුකම් ඇති ඕනෑම තැනක සිට ක්‍රියාත්මක කළ හැක. එය අතිරේක වාසියකි. වැදගත්ම කරුණ වනුයේ එහි මිල රුපියල් 5000.00ක අගයක පැවතීමයි. එනම්, සම්ප්‍රදායික පී.සි.ආර් පරික්ෂාවක ගණන හා සමාන වීමයි.

මෙම පරික්ෂණ උපකරණය ක්‍රමෝපායිකව භාවිතා කිරිමෙන් සම්ප්‍රදායික පී.සි.ආර් පරික්ෂාවන් සඳහා වන ඉල්ලුම අඩු කරගෙන backlog වලක්වා ගත හැක. විශේෂයෙන් ප්‍රදේශියව පරික්ෂා සිදුකිරිමේදි, ප්‍රධාන පර්යේෂණාගාර මත බලපෑමක් නොමැතිව, කුඩා පරික්ෂණ ප්‍රමාණයක් කර ගැනිමට මෙය ප්‍රමාණවත් වේ.
පි.සි.ආර් පරික්ෂාව මඟින් යමෙකු එක් වරක් ආසාදිතයැයි දැනගත් පසු තව දුරටත් පී.සි.ආර් පරික්ෂාවන් නො කළ යුතු අතර එය සම්පත් අපතේ යැවිමකි.

කෝවිඩ්-19 Antibody පරික්ෂාව මඟින් ද පසුගිය කාලයේ රෝගයට ලක් වී හෝ නිරාවරණය වී තිබේදැයි සොයා ගත හැක. යමෙකු antibody සඳහා positive නම්, තවදුරටත් පරික්ෂා කිරිම අවශ්‍ය නොවේ. විශේෂයෙන් සෞඛ්‍ය සේවකයන් සඳහා මෙම පරික්ෂාව සිදු කිරීම මඟින් මහඟු ප්‍රතිඵල ලබා ගත හැක.
තවද, කිසිවිටකදි, හරි වැරදි බැලිම පිණිස පි.සි.ආර් පරික්ෂාව නැවත කිරිම ද නො කළ යුතුය.

3. කෝවිඩ්19 රෝගය නිසැකවම වැළඳුණ රෝගියකුගේ ප්‍රතිකාර සඳහා සහ සංකුලතා වැලැක්වීම සහ එම රෝගින් රෝහලින් ප්‍රතිකාර නිම කොට නිවසට යැවීමේ සුදුසුකම තීරණය කිරීම සඳහා කරණු ලබන පරීක්ෂා (Tests performing ON patients who were positive for SARS-COV 2 (for the management purposes of patients diagnosed with COVID19) for prevention of complications and discharge purposes)

මෙම කාණ්ඩය සඳහා කිසි විටකත් අපගේ ප්‍රධාන පරික්ෂාව වන පී.සී ආර් පරික්ෂාව නිර්දේශ නො කළ යුතුය. එසේ කිරිමෙන් සමපත් අපතේ යාමක් සිදු වේ.
මෙම කාණ්ඩය සඳහා අයත් පරික්ෂාවන් වන්නේ රුධිර පරික්ෂා, CRP LFT (ASOT/SGPT, BILIRUBIN, PT etc) PCT හා CT SCAN ආදියයි.
ඊට අමතරව රෝගින් discharge කිරිම පිණිස කෝවිඩ්-19 ප්‍රතිදේහ පරික්ෂාව කළ හැක.

4. රෝග වැලැක්විම , රෝග පරිපාලනය, ප්‍රජා පැතිරිම වැලැක්විම සඳහා කරනු ලබන පරික්ෂාවන් (For screening and prevention of spread of COVID19- to be used in public health purpose)

මෙම කරුණ සාක්ෂාත් කිර්ම සඳහා පරික්ෂාවන් විශාල ප්‍රමාණයක් භාවිතා වේ. අහඹු නියැදි පරික්ෂාව, ස්පර්ශකයන් පරික්ෂාව ආදිය මෙයට අදාල වෙයි. බොහෝ විට පි.සි.ආර් පරික්ෂාව මේ සඳහා යොදා ගනී.

එහෙත් පි.සි.ආර්. පරික්ෂාව අධි සංවේදි පරික්ෂාවක් වන හෙයින් ඉතා අඩු ආර්.එන්.ඒ කොටස් ප්‍රමාණයක් පවා ඒ මඟින් සොයා ගැනිමට හැකියාව ඇත. මෙම තත්වය විශේෂයෙන් ම රෝගින් ගණන වැඩි වන විට අවාසි දායක විය හැක. විශෂයෙන් මෙම අධි සංවේදි ස්වභාවය නිසා දිගින් දිගට ම කෝවිඩ් රෝගය ඇතැයි සිතෙන තරමටම RNA කොටස් හඳුනා ගනු ලබයි.

එම දුර්වලතා මඟ හැර ආසාදිතයන් සොයා ගැනිමට දැනට ලොව පුරා ක්ෂණික antigen test භාවිතාවට නැඹුරැවක් ඇති වෙමින් පවති. විශේෂයෙන් මෙම රෝගය ගැන විශේෂ අවධානයෙන් සිටින ප්‍රමාණාත්මක වියත්හු මෙය ගැන අවධානයෙන් සිටිති. මෙහි ප්‍රතිඵල විනාඩි ගණනකින් ලැබෙන නිසා සහ බිම් මට්ටමේදි මෙය සිදු කළ හැකි වීම නිසා ද, ඹ්නෑම අයකුට ඉතා පහසුවෙන් එහි තාක්ෂණික ස්වභාවය වටහා ගැනිමට හැකි නිසා මෙම පරික්ෂාව වසංගත තත්වය පාලනය පිණිස ඉතා වැදගත්වනු ඇත. එසේම මෙම පරික්ෂා ක්‍රමව්දය මඟන් රෝගය පතුරවන ආසාදිතයන් ඉතා කඩිනමින් හඳුනාගෙන ආසාදනය පැතිරිම වලක්වා ගත හැකිය. මෙහි ඇති දුර්වලතා මඟ හැරිමට ද ක්‍රමවේදයක් තිබේ. මෙය අප රටෙහි ක්‍රියාත්මක කළ හැකි නම් ඉතා අගනේ ය.

ජනතාව අතර රෝගය පැතිර ඇති ස්වභාවය දැක ගැනිම සඳහ antibody පරික්ෂාව ඉතා වැදගත් වේ. මෙම පරික්ෂාව ද පි.සි.ආර් පරික්ෂාවට වඩා ඉතා මිල අඩුය. මෙය මඟින් අප හට රෝගය වැඩිපුර පැතිර පවතින කාණ්ඩ සොයාගත හැක. ඒ මඟින්වැඩි අවදානම් කාණ්ඩ සොයා ගත හැක. එමෙන් ම antibody සහිත වූවවන්ට නැවත රෝගය හට නො ගැනීමට පවතින හැකියාව වැඩි නිසා දැඩි අවදානම් රෝගී කාණඩ බලා ගැනිම සඳහා එම කාණ්ඩ යොදා ගත හැක. එලෙස ම, රෝගය වැළඳී සුවවූවන් ද මෙම කාර්යයට යොදා ගත හැක.

විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල,
ක්ෂුද්‍ර ජිවය සහ ආසාදන පාලනය පිලිබඳ විශේෂඥ වෛද්‍ය,
ජාතික රෝහල,
මහනුවර.

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top