අද්භූත සාගර කලාපය හෙවත් බර්මියුඩා ත්‍රිකෝණය

ඇමරිකා එක්සත් ජනපදයේ ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන්, දිගු කලක් තිස්සේ භයානක සිදුවීම් සිදුවීම පිලිබද කීර්තියක් ලබා ඇති ත්‍රිකෝණාකාර සාගර පරාසයක් ඇත. බර්මියුඩා ත්‍රිකෝණය නමින් හදුන්වන එම පරාසය සදහන් කල සැනින් සිහියට නැගෙන්නේ නැව් සහ ගුවන් යානා අත්භූත ලෙස අතුරුදන් වීමයි. එය හරහා ගමන් කරන නැව් කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වන අතර එයට ඉහළින් ගමන් කරන ගුවන් යානා වල රේඩාර් සබදතා ගිලිහී ගොස් නැවත කිසිදා නොපෙනෙන සේ අතුරුදහන් වේ. එම හේතුව නිසාම මෙය “යක්ශයාගේ ත්‍රිකෝණය” ලෙසද හදුන්වයි. බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවන්නේ කුමක්ද යන්න පිලිබදව මෙතෙක් විවිධ මත පලවී තිබෙනවා. හදිසි කාලගුනික විපර්යාස, සුළි කුනා‍ටු, විශාල දිය සුලි ,ටොනෑඩෝ වැනි ස්වාභාවික සිද්ධීන් මෙන්ම පිටසක්වල ක්‍රියාකාරකම් ඇතුලු විවිධ අත්භූත අදහස් පලවී ඇති නමුත් ඒ කිසිවක් මෙතෙක් තහවුරු වී නොමැත. කෙසේවෙතත්, වසර ගණනාවක් පුරා බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවන කාලගුනික විපර්යාස වල චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් නැව් සහ ගුවන් යානා අතුරුදහන් වීම සම්බන්ධයෙන් විද්‍යාත්මකව වලංගු පැහැදිලි කිරීම් ගණනාවක් ඉදිරිපත් කර ඇත.

බර්මියුඩා ත්‍රිකෝණයට එහි නම ලැබුණේ 1964 දී පල්ප් සඟරාව වන Argosy හි පළ වූ ලිපියකින් වන අතර එය පිහිටා ඇත්තේ මියාමි, සැන් ජුවාන්, පුවර්ටෝ රිකෝ සහ බර්මියුඩා දූපත අතරය. සමස්තයක් වශයෙන් එය උතුරු අත්ලාන්තික් සාගරයේ වර්ග සැතපුම් සිය දහස් ගණනක් ආවරණය කරයි.

බර්මියුඩා ත්‍රිකෝණයේ මෙම අභිරහස් හැසිරීම ගැන මුල්මවරට අවධානය යොමු වී ඇත්තේ වර්ශ 1945 ඇමරිකානු ගුවන් හමුදාවට අයත් මිල අධික බොම්බ හෙලන වර්ගයේ ගුවන් යානා 5ක් එකවරම කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වීමෙනි. කෙතරම් උත්සාහ කරත් ඇමරිකානු ගුවන් හමුදාවට එම යානා පිලිබදව කිසිම තොරතුරක් හෝ කොටසක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර ඔවුන් උපකල්පනය කර ඇත්තේ ඒවා හදිසි වාසුලියකට හසුවී මුහුදුබත් වන්නට ඇති බවයි. ගුවන් යානා වලට පමණක් නොව මෙම ප්‍රදේශය නැව් සදහාද බලපාන බව පසක් කරමින් 1967 දී විශාල සුඛෝපබෝගී නෞකාවක්ද මෙම ප්‍රදේශයේදී අතුරුදහන් වී ඇත. මෙලෙස බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ පෙළේ සහ තවමත් අභිරහස් නාවික සහ ගුවන් යානා අතුරුදහන්වීම් ගණනාවක ස්ථානය වී ඇත. එහෙත් එම ව්‍යසනයන් පරිසරයේ සහ සංඛ්‍යාලේඛනවල තාර්කික සංකලනයට පටහැනිව සිදුවන නරක දෙයක ප්‍රතිඵලයක් බව අතිශයින් සැක සහිතය. බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශය අධික ලෙස ජාවාරම් කරන ප්‍රදේශයක් වීමද සමහර අභිරහස් වලට හේතු විය හැකි බව සමහරුන්ගේ මතය විය. මෙලෙස ගුවන් යානා හා නෞකා විශාල ප්‍රමාණයක් කිසිදු සළකුණක් ඉතිරි නොකර මෙම ප්‍රදේශයේදී අත්භූත ලෙස අතුරුදන් වීමත් සමග බොහෝ විද්යාඥයන් මේ පිළිබදව ගැඹුරින් අධ්යනය කිරීම ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

බර්මියුඩා ත්‍රිකෝණය සඳහා එක් පොදු පැහැදිලි කිරීමක් චුම්භකත්වය මත රඳා පවතී. පෘථිවි චුම්බක උත්තර ධ්‍රැවය එහි භූගෝලීය උත්තර ධ්‍රැවය හා සමාන නොවේ, එයින් අදහස් කරන්නේ මාලිමා යන්ත්‍රය සාමාන්‍යයෙන් හරියටම උතුරට යොමු නොවන බවයි. මාලිමා සැබවින්ම නිවැරදි වන්නේ චුම්භක සහ භූගෝලීය උතුරට පෙළගැසී ඇති ඇගෝනික් රේඛා (agonic lines) ලෙසින් හැඳින්වෙන රේඛා දිගේ පමණි. එක් ඇගෝනික් රේඛාවක් බර්මියුඩා ත්‍රිකෝණය අසලින් මෙක්සිකෝ බොක්ක හරහා සුපීරියර් විලේ සිට පහළට දිවේ. එක් න්‍යායකට අනුව, සාමාන්‍යයෙන් මාලිමා යන්ත්‍ර කියවීම් වල විෂමතාවක් ගණනය කිරීමට පුරුදු වී සිටින නාවිකයින්, ඇගෝනික් රේඛාවට ඉතා ආසන්න වූ විට වැරදි ලෙස මාලිමාව කියවිය හැකිය.

තවත් න්‍යායක් පවසන්නේ බර්මියුඩා ත්‍රිකෝණය පෘථිවි චුම්භක ක්ෂේත්‍ර රේඛා විකෘති වී ඇඹරී ඇති ප්‍රදේශයක් වන මහා පරිමාණ චුම්භක විෂමතාවයකට නිවහන විය හැකි බවයි. මෙයද නාවික දෝෂ ඇති වීම සදහා බලපෑ හැකිය. එහෙත්, යම් පුද්ගලයින් සදහන් කර ඇති පරිදි බර්මියුඩා ත්‍රිකෝණයේ අසාමාන්‍ය චුම්භක කැළඹීම් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, එය කලාපයේ චුම්බක සිතියමක දෙස බලන විටද පැහැදිලි වේ.

බර්මියුඩා ත්‍රිකෝණයේ නැව් ගිලාබැසීමට හේතුව මුහුද යට මීතේන් නිධිවලින් නිකුත් වන දැවැන්ත බුබුලු නිසා විය හැකි බව මෑතක සිට ඇතැම් විද්‍යාඥයන් යෝජනා කර ඇත. කලාපයේ මුහුදු පත්ලේ හදිසියේ මුදා හැරිය හැකි විශාල වායු සාක්කු (gas pockets) අඩංගු වන අතර, එමගින් සාගරය නැව් ගිල දමන පෙණ සහිත සුප් එකක් බවට පත් කල හැකි බව ඔවුන් පවසයි. මෙය අර්ථවත් පැහැදිලි කිරීමක් වුවද, බර්මියුඩා ත්‍රිකෝණය අවට ප්‍රදේශයෙන් මෑතදී මීතේන් නිකුත් වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ භූ විද්‍යාඥ බිල් ඩිලෝන් පවසන පරිදි ප්‍රදේශයේ අවසන් වරට එවැනි දෙයක් සිදුවී ඇත්තේ වසර 15,000කට පමණ පෙරය.

තවත් පැහැදිලි කිරීමක් වන්නේ හොර තරංග (rogue waves) පැවතීමයි. මෙම දැවැන්ත තරංග අනපේක්ෂිත ලෙස නිර්මාණය වී අවට ඇති තරංගවලට වඩා දෙතුන් ගුණයකින් ඉහළ යා හැක. ඔවුන් වාර්තා කරන පරිදි, බ්‍රිතාන්‍ය පර්යේෂකයන් බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳ විමර්ශනයක කොටසක් ලෙස නැව් මත අඩි 100 කට වඩා උස රළවල බලපෑම අනුකරණය කිරීමට විද්‍යාගාර සහ පරිගණක ආකෘති භාවිතා කළහ. ප්‍රමාණවත් තරම් දිග නැව් තරංග ශිඛර දෙකක් අතර එල්ලිය හැකි අතර ඒවාට පහළින් කිසිවක් ආධාරකයක් නොමැතිව සිරවී අඩකින් කඩා වැටිය හැකි බව එක් පර්යේෂකයෙක් සදහන් කරයි. එහෙත්, මෙම රළවලට නිසැකවම නැවක් පෙරළීමට හෝ කැඩීමට හැකියාව ඇතත්, බර්මියුඩා ත්‍රිකෝණයේ ඇති වූ කිසිදු නාවික ව්‍යසනයකට ඒවා සම්බන්ධ කිරීමට නිශ්චිත සාක්ෂි නොමැත.

මෙම විවිද මත නිසාවෙන් එක්සත් ජනපද රජය බර්මියුඩා ත්‍රිකෝණය හඳුනා නොගන්නා අතර, එම ප්‍රදේශය කිසිදු නිල සිතියමකද නොපෙන්වයි. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක දෙපාර්තමේන්තුව නැවත නැවතත් එම ප්‍රදේශයට හෝ එහි ජනප්‍රවාදවලට වඩා විශාල වැදගත්කමක් ලබා දීමෙන් වැළකී සිටී. තවද, එම කලාපය හරහා ගමන් කරන නැව් හා ගුවන් ප්‍රමාණය ගණනය කිරීමෙන් පසු, ලෝකයේ වෙනත් ඕනෑම තැනකට වඩා ඉහළ සමුද්‍රීය හෝ ගුවන් විපත්ති කලාපයක් දකින බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි ඔවුන් සදහන් කරන්නේ.

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top