metformin

මෙට්ෆෝමින් (Metformin) පිලිබඳ ඔබ දැනුවත්ද?

දියවැඩියාව ( Diabetes ) යනු දිගුකාලීනව ශරීරයේ ග්ලූකෝස් මට්ටම ඉහලව පවතීම නිසා හට ගන්නා ව්‍යාධි තත්වයක්. එය ශරීරයේ එක් අවයවයකට පමණක් නොව මුළු ශරීරයටම බලපාන රෝගී තත්වයක් බැවින් මෙය ව්‍යාධි යක් ලෙස හඳුන්වනු ලැබේ. ඇස් අන්ධ වීම, හෘදයාබාද, අංශභාගය,වකුගඩු අක්‍රීයවීම, අත් පා කපාදැමීමට සිඳු වීම වැනි භයානක, වේදනාකාරී සංකූලතා ඇතිකිරීමට දියවැඩියාවට හැකිය.

දියවැඩියාව පිලිබඳ අවධානයෙන් හා නිවැරදි අවබෝධයෙන් සිටීම තුලින් මෙය පාලනය කල හැක. දියවැඩියාව වැළඳුනුන පසු ඔබ ඔබගේ රුධිරගත සීනි මට්ටම පිලිබඳ වැඩි සැලකිල්ලක් දැක්වියයුතුය. නීරෝගී සාමාන්‍ය පුද්ගලයෙකුගේ දැක්වෙන්නේ රුධිර ඩෙසිලීටර එකකට ග්ලුකොස් මිලි ග්‍රෑම් 100 ක් ලෙසිනි. (100 mg/ dL)

මෙම අගය පවත්වාගනීමට නම් ඔබ

  • ආහාර පිලිබඳ සැලකිලිමත්වීම
  • ව්‍යායාම හා නිවැරදි ජීවන රටාව
  • නියමකරන ලද ඖෂධ නිවැරදිව භාවිතය සිදුකල යුතුය

මෙම ලිපිය තුලින් මාතෘකා කිරීමට බලාපොරොත්තු වන්නේ මෙට්ෆොර්මින් (Metformin) ඖෂධය පිලිබඳවයි. මෙය දියවැඩියාව පාලනය සඳහා බහුලවම යොදගන්නා ඖෂධයක් වන අතර ඖෂධ වර්ගීකරණයේදී බ්යිගුවනිඩ් (Biguanide) නම් කාන්ඩයට අයත් වෙනවා.

 

මෙට්ෆෝමින් නියම කරන්නේ කා සඳහාඳ?

දියවැඩියාව ප්‍රධාන කාන්ඩ දෙකකට වර්ගීකරණය කල හැක.  එනම් පලමු කාන්ඩය (Type one) සහ දෙවන කාන්ඩය ( Type two) ලෙස. (මීට අමතරව ගර්භණී සමය තුල ඇතිවන දියවැඩියාව හෙවත් gestational diabetes).

පලමු කාන්ඩයේ රෝගීන් සඳහා ඉන්සියුලින් (Insulin) අනිවාර්ය වෙනවා. සාමාන්‍යයෙන් දියවැඩියාව සඳහා ගිලින පෙති වර්ග නිර්දේශ කරනු ලබන්නේ දෙවන කාන්ඩයේ දියවැඩියා රෝගීන්ටයි. මීට අමතරව, රුධිරගත සීනි මට්ටම ගිලින පෙති මගින් පමණක් පාලනය කළ නොහැකි අවස්ථා වලදී අමතරව ඉන්සියුලින්ද නිර්දේශ කරනු ලබන අවස්ථා තිබෙනවා.

ගිලින පෙති වර්ග අතුරින් බොහෝවිට මුලින්ම දියවැඩියාව සඳහා නිර්දේශ කරනු ලබන්නේ මෙට්ෆොර්මින් ඖෂධයයි (first line drugs). එසේවුවත් සමහර රෝගින්ගේ වකුගඩු හා අක්මාවේ ක්‍රියාකාරිත්වය ප්‍රශස්ථ මට්ටමේ නොතිබීම සහ වෙනත් හෙතූන් නිසා මුලින්ම මෙම ඖෂධය නිර්දේශ නොකර වෙනත් ඖෂධක් නිර්දේශ කිරීමට ඔබගේ වෛද්‍යරයාට සිදුවනවා.

 

මෙට්ෆෝමින් ශරීරය තුල ක්‍රියාකරන්නේ කෙසේද?

සරලව පැහැදිලි කළහොත් මෙට්ෆෝමින් මගින් රුධිරගත සීනි මට්ටම අඩුකිරීම සිදුකරනු ලබයි. එය යාන්ත්‍රන කිහිපයක් ඔස්සේ ශරීරය තුල ක්‍රියාත්මක වන අතර එමගින් රුධිරගත සීනි මට්ටම අඩුකිරීම සිදුවේ.

නිරෝගි පුද්ගලයකුගේ ශරීරය තුල  සීනි මට්ටම යාමනය කරනුයේ අග්න්‍යාසය තුල නිපදවෙන ඉන්සියුලින් (Insulin) නම් හෝමෝනය මගිනි.  පලමු කාන්ඩය රෝගීන් උපතින්ම ඉන්සියුලින් ඌනතාවයක් පෙන්නුම් කරන බැවින් එම රෝගීන් සඳහා ඉන්සියුලින් එන්නත්කරණය අනිවාර්ය වෙනවා.දියවැඩියා දෙවන කාන්ඩය රෝගීන්ගේ ශරීරය තුල ඉන්සියුලින් ප්‍රශස්ත මට්ටමේ තිබුනද එය ක්‍රියාකිරීමට එරෙහිව ශරීරය තුලින්ම ප්‍රතිරෝධීතවයක් දක්වනවා. මෙට්ෆෝමින් මගින් එම ප්‍රතිරෝධීතාව අඩුකර ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩිකරනු ලබනවා.

තවද

  • අක්මාව තුලදී අලුතින් ග්ලූකෝස් නිපදවීම (Gluconeogenesis) අඩු කිරීම
  • ශරීර පර්‍යන්තයේ ග්ලූකෝස් භාවිතාවීම (Peripheral utilization ) වැඩි කිරීම
  • කුඩා අන්ත්‍රය තුල ග්ලූකෝස් අවශෝශනය වීම අඩු කිරීම මගින් රුධිරගත සීනි මට්ටම අඩුකිරීම සිදුවේ.

 

දියවැඩියා පාලනය  සඳහා මෙට්ෆෝමින් වඩා විශේෂ වන්නේ ඇයි ?

  • සාමාන්‍යයෙන් මෙට්ෆෝමින් භාවිතයේදී රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය අගයටත් වඩා පහලට වැටීම (Hypoglycemia) බොහොමයක් දියවැඩියා පාලන ඖෂධ මෙන් සිදු නොවේ.
  • එමෙන්ම ගර්භනී සමයේ හා කිරිදෙන මව්වරුන්ට මෙය භවිතා කල හැක.
  • එසේම ස්ථූල රෝගීන් සඳහාද මෙය හොදින් ප්‍රතිචාර දක්වනු ලබනවා.

 

රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය අගයටත් වඩා පහලට වැටීම සිදුවිය හැක්කේ කුමන අවස්තා වලද? හදුනාගන්නේ කෙසේද?

  • මෙට්ෆෝමින් මාත්‍රාව වැඩිවීම
  • මෙට්ෆෝමින් සමග තවත් දියවැඩියා පාලන ඖෂධ ලබා ගැනීම
  • මෙට්ෆෝමින් සමග දියවැඩියා පාලනට ආයුර්වේද වට්ටොරු ලබාගැනීම
  • පෝෂ්‍යදායී ආහාර වේලක් ලබානොගැනීම
  • නිසි වේලවට ආහාර ලබා නොගැනීම
  • ආහාර වේල් මගහැරීම
  • ආහාර වේල් මගහැරීම සමග මධ්‍යසාර භාවිතය
  • ඖෂධය ගත් පසුව ආහාර නොගෙන සිටීම
  • අධික වෙහෙසකර කාර්‍යක නිරතවීම

ඔබට අධික කුසගින්න, වෙව්ලීම, අධික දහඩිය දැමීම, ක්ලාන්තය සහ ඇදවැටීම වැනි ලක්ශන පවතී නම් අවශ්ය ප්‍රතිකාර වලට හැකි ඉක්මනින් යොමුවන්න.

 

මෙට්ෆෝමින් වෙළඳපලේ පවතින්නේ කුමන ආකාර වලටද ?

බහුලවම භාවිතා වන්නේ මෙට්ෆෝමින් 500mg පෙත්තයි. එහෙත් රෝගියෙකුට තම රෝගී තත්වය අනුව නිර්දේශකරන මාත්‍රාවන් සහ වාර ගණන වෙනස් විය හැකිය.  එක් බෙහෙත් වාරයකට 250mg සිට උපරිම 1g දක්වා නිර්දේශ කල හැකි අතර ගත යුතු වාර ගණන දවසට එක වතාවක් හෝ තුන් වතාවක් දක්වා වෙනස් විය හැක.

උදාහරණ  ලෙස,

  • 1g දවසට දෙවතාවක්
  • 500 mg දවසට තුන් වතාවක්

මීට අමතරව 850 mg ද සමහර රෝගීන් සඳහා භාවිතා වෙනවා. එසේම SR,MR,XR ආදී අක්ශර දෙකක්ද සහිතව එන මෙට්ෆෝමින් පිළිබඳ ඔබගේ අවධානය යොමුවිය යුතුය. ඖෂධය භාවිතා කරන වාරගනන අඩුකිරිම,අතුරු අබාධ අඩුකිරීම අදී කරුණු සලකා නිර්මාණය කල මෙම පෙති වර්ග කැඩීමෙන් , කුඩුකිරීමෙන් හා දියකිරීමෙන් වැලකිය යුතුවේ. එසේ කලහොත් එහි ක්‍රියකාරිත්වය නිසි පරිදි සිදු නොවේ.

 

වෛද්‍යව නිර්දේශය අනිවාර්යද?

ඔව්.එය අනිවාර්ය වේ.සූදුසු රුධිර පරීක්ෂාවක් මගින් ඔබ දියවැඩියා රෝගීයෙක් යැයි හඳුනා ගතහොත් ඔබට එය නියමකරනු ලබේ. තමන්ගේ අභිමතය පරිදි භාවිතාකල නොහැක. එසේම SR,MR,XR ආදී අක්ශර දෙකක්ද සමඟ එන මෙට්ෆෝමින් වර්ගද අනිවාර්යයෙන් වෛද්‍ය නිර්දේශයමත ලබායුතුය.

 

ඖෂධයේ මිල අනුව එහි ගුණාත්මකභාවය වෙනස්වෙයිද?

රජයේ ඖෂධ සායන වල මෙට්ෆොර්මින් ලෙස ඖෂධීය නාමය (Generic name ) භාවිතා කරන අතර පුද්ගලික රෝහල් , වෛද්‍ය මධ්‍යස්ථාන ආදියේ විවිධ වෙලද සන්නාමයන්  (Brand Name) යටතේ භාවිතා වෙනවා. මතක තබාගතයුතු කරුණනම් විවිධ මිල ගණන් යටතේ විවිධ වෙළඳ සන්නාමයන් පැවතුන ද සියල්ලන්ගේම ඖෂධීය ගුණය එක සමාන බවයි.

 

මෙම ඖෂධයේ අතුරු ආබාධ මොනවාද ?

ඔව්. අප භාවිතා කරන සෑම ඖෂධයකටම අතුරු ආබාධ පවතිනවා. ඔබ මෙට්ෆෝමින් භාවිතා කරන අයෙක් නම් බහුල වශයෙන් ආහාර මාර්ගය ආශ්‍රිත අතුරුආබාධ තත්වයන් දැකියහැකිය.

  • බඩ දැවිල්ල
  • බඩ රිදුම
  • කෑම අරැචිය
  • ඔක්කාරය සහ වමනය
  • බඩ පිපීම
  • බඩ එලිය යාම
  • කලාතුරකින් ලැක්ටික් ඇසිඩෝසිස් (Lactic acidosis) නම් ලැක්ටික් අම්ලය ශරීරයේ අධිකව එකතුවවීම නිසා ඇතිවන හානිකර තත්වයක් ඇතිවිය හැක. අසාමාන්‍ය මාංශ පේශි වල වේදනාව, ශ්වසන අපහසුතා, උන ගතියක් දැනීම,හෘද ස්පන්දනය අක්‍රමවත්වීමවැනි ලක්ශන පවතී නම් කරුණාකර ඔබගේ වෛද්‍යරයා දැනුම් දෙන්න.
  • අසාත්මිකතාව

 

අතුරුආබාධ අවම කරගන්නේ කෙසේ?

  • ආහාර සමග (with meals) හෝ ආහාර ලබාගත් විගස (immediately after meals) මෙම ඖෂධය ලබාගැනීමෙන්
  • ආහාර ගැනීමට පෙර ලබාගැනීමෙන් වැළකී සිටීම
  • දිනකට නිර්දේශ කරන ලඳ මාත්‍රව නියමිත වාර ගණනින් ලබා ගැනීම මගින් අතුරුආබාධ බොහෝදුරට අවමකරගත හැකිය.

 

මාත්‍රාවක් අතපසුවුවහොත් කුමක් සිදුවේද ?

රුධිරගත සීනි මට්ටම සාමාන්‍ය අගයට පවත්වා ගැනීමට නම් යම්කිසි අපේක්ෂිත ඖෂධ සාන්ද්‍රනයක් රුධිරයේ පැවතීය යුතුය. ඔබ විසින් වෛද්‍යවරයා දිනකට නිර්දේශ කරන ලඳ මාත්‍රව නියමිත වාර ගණනින් ලබා ගන්නවා නම් ඔබට දියවැඩියා සංකූලතා ඇතිවීමේ ප්‍රවනතාව ඉතාම අල්පය. මාත්‍රා මගහැරීම, සිතාමතා නොගෙන සිටීම ඉහත කී පාලනයට බාධා ඇතිකරයි.එවිට ඔබගේරෝගී තත්ත්වය උත්සන්න වියහැකිය.

මේ නිසා,

  • වේලක් මගහැරුනහොත් මතක්වූ විගසම එය ලබාගන්න
  • සිහිවුනේ ඊලඟ වේලට ආසන්නව නම් ඊලඟ නියමිත වේල පමණක් ගන්න
  • කිසිම විටක වේල් දෙක එකවර ලබා නොගන්න

 

ඖෂධය අධි මාත්‍රාවක් ශරීරගත වුවහොත් කුමක් සිදුවේද ?

රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය අගයටත් වඩා පහලට වැටීම හා ලැක්ටික් ඇසිඩෝසිස් තත්වයන් ඇතිවිය හැක. එබැවින් සැමවිටම කල්පනාකාරීව කටයුතු කරන්න.

 

මෙම ඖෂධය භාවිතා කරන අතරතුර නොගතයුතු දේවල් මොනවාද ?

මධ්‍යසාර භාවිතයෙන් මුළුමනින්ම වැලකිය යුතු වේ. මන්ද, මධ්‍යසාර මගින් තවදුරටත් සීනි මට්ටම පහත හෙලන අතර ලැක්ටික් ඇසිඩෝසිස් අවදානම වැඩිකිරීමටද එය හේතුවේ.

තවද ඔබ අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයෙක්නම් ACEI කාන්ඩයට අයත් enalapril, captopril වැනි ඖෂධ මගින් ඔබගේ සීනි මට්ටම තවත් පහතහෙලීම සිදුකලහැක. එබැවින් හැකි සෑමවිටම ඔබගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න.

 

මෙම ඖෂධය ලබනොදෙන්නේ කුමන රෝගීන්ටද ?

  • මෙම ඖෂධයට අසාත්මිකතාවයක් දැක්වීම
  • වකුගඩු ක්‍රියාකාරීත්වය 30 mL/min/1.73 m2 වඩා අඩු රෝගීන්
  • දියවැඩියා පලමු කාන්ඩය රෝගීන්
  • Metabolic acidosis හෝ diabetic keto acidosis යන තත්වයන් ඇතිවිට
  • විවිධ අවයව අධිකලෙස අකර්මණ්ය වී තිබීම (වකුගඩු, අක්මාව,පෙනහළු, හෘදය)

තවද,

  • කිසියම් ශල්‍යකර්මයකට භාජනය වීමට සිටීනම්
  • එක්ස් කිරන පරීක්ශාවකට (X – Ray)
  • සීටී ස්කෑන් (CT Scan) පරීක්ශනයකට යොමු වීමට සිටීනම් මෙම ඖෂධය තාවකාලිකව නතර කරනු ලබනවා.

 

ඔබ වෛද්‍යවරයාව දැනුවත් කලයුතු අවස්ථා මොනවාද ?

  • ඔබ මත්පැන් පානය කරන්නෙකුනම්
  • ඔබ ගර්භණී නම් හෝ එසේවීමට සිතනවා නම්
  • වයස අවුරුදු 65 හෝ ඊට වැඩි නම්
  • ඔබ ඉන්සියුලින් හෝ වෙනත් දියවැඩියා පාලන ඖෂධ ලබාගන්නා අයෙකුනම්
  • වෙනත් රෝගී තත්ව වලට ඖෂධ ලබාගන්නා අයෙකුනම් කෙනෙකුනම් (වකුගඩු රෝග, අක්මා රෝග, හදවත් රෝග, අධි රුධිර පීඩනය)

මෙට්ෆෝමින් නිර්දේශ කරන රෝගී වෙනත් තත්ව මොනවාද?

වෛද්‍ය නිර්දේශය අනුව සමහර කාන්තවන්ට ඇතිවන ඩිම්බ මෝචනය පිළිබඳ ගැටළුක්වන පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩ්‍රෝම් (polycystic ovarian syndrome) තත්වයේදී ඩිම්බ මෝචනය (ovulation) උත්තේජනය කිරීමට.

ස්ථුල පුද්ගලයන්ගේ දේහ බර අඩු කිරීමටත් මෙය භාවිතා කරනවා.

 

මෙට්ෆෝමින් භාවිතා කරන ඔබට ඖෂධය නිසා වකුගඩු ආබාධ ඇතිවිය හැකි ද ?

එය අසත්යක්. රෝගී තත්ත්වය පිළිබඳ නොසැලකිලිමත්කම, නිවැරදිව දියවැඩියා පාලන ඖෂධ නොගැනීම, හිතුමතේ වෙනස් කිරීම, නිවැරදි ආහාර රටාවක් පවත්වා නොගැනීම ආදි කරුණු නිසා දියවැඩියා සංකූලතාවක් ලෙස ඔබ  වකුගුඩු රෝගයට ගොඩුරුවීමට හැකියාව ඇත.

එසේ උවත් ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරියේ (US Food and Drugs Authority – US FDA) නිර්දේශයන්ට අනුව ඉහල රුධිර ක්‍රියැටිනින් අගයක් (Serum Creatinine) සහ වකුගඩු ක්‍රියාකාරීත්වය 30 mL/min/1.73 m2 වඩා අඩු රෝගීන්ට මෙම ඖෂධය නිර්දේශ කරණු නොලබයි.

එයට හේතුව වන්නේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය 30 mL/min/1.73 m2 වඩා අඩු රෝගි න්ගේ මෙට්ෆෝමින් ශරීරය තුල එකතුවී ලැක්ටික් ඇසිඩෝසිස් තත්වය ඇතිවියහැකි බැවිනි. එම නිසා වෛද්‍ය නිර්දේශයට ප්‍රථම serum creatinine පරීක්ෂණය මගින් වකුගඩුවල ක්‍රියාකාරිත්වය මැන බැලීම සිදුකරයි.

 

නිවැරදි දිවි පැවැත්ම හා නිසි ඖෂධ භාවිතය මගින් ඔබට සුවදායක දිවිපෙවෙතක් ගත කල හැක. සැමවිටම වෛද්‍ය නිර්දේශයන්ට අනුව කටයුතු කරන්න!

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top